චීනයේ වයඹදිග ෂින්ජියැන්ග් (Xinjiang) පළාත සහ ඒ අවට ප්‍රදේශවල වැසියන් හට මේ වසරේ ගිම්හාන කාලයේදී ඇති විය හැකි “අතිශය දරුණු ගංවතුර” තත්ත්වයන් සඳහා සූදානම් වන ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ. අසාමාන්‍ය ලෙස ඉහළ යන උෂ්ණත්වය, අධික වර්ෂාපතනය සහ කඳුකරයේ පවතින ග්ලැසියර සීඝ්‍රයෙන් දියවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇත.
චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලමකාන් කාන්තාරය, සාමාන්‍යයෙන් මෙවැනි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙන අගෝස්තු මාසයට පෙර, මෙම වසරේ ජුනි මස මුල් භාගයේදීම සිය පළමු ගංවතුරට මුහුණ දී ඇත. ජුනි 12 වන දින වන විට ෂින්ජියැන්ග් හි උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 7.3 කින් ඉහළ ගොස් සෙල්සියස් අංශක 38 ක් දක්වා ළඟා වීමත්, බටහිර සහ දකුණු ෂින්ජියැන්ග් හි වර්ෂාපතනය ඓතිහාසික සාමාන්‍ය අගය මෙන් දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ යාමත් මෙම අනපේක්ෂිත ගංවතුරට හේතු වී ඇත.
ටියැන්ෂාන් සහ කුන්ලුන් කඳුවල පවතින විශාල හිම තට්ටු සහ ග්ලැසියර දියවී, එම ජලය චීනයේ දිගම අභ්‍යන්තර ජල මාර්ගය වන තාරිම් ගඟට වේගයෙන් ගලා ඒම නිසා ගංගා ඉවුරු බිඳී කාන්තාරයේ පහත් බිම් ජලයෙන් යටවී ඇත.
මෙම ගංවතුර හේතුවෙන් මාර්ග, දුම්රිය මාර්ග මෙන්ම තෙල් සහ ගෑස් පහසුකම් වැනි යටිතල පහසුකම් විනාශ වීමේ බරපතල අවදානමක් පවතින බව චීන කාලගුණ විද්‍යා පරිපාලනය අනතුරු අඟවයි. එමෙන්ම, ගංවතුර කාලසීමාව තුළ එම ප්‍රදේශවල පදිංචිකරුවන් සහ සංචාරකයින් නිල අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිමින් ආරක්ෂාවට මුල් තැන දිය යුතු බව ද බලධාරීන් අවධාරණය කරයි.
















