ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සුභසාධන තානාපති යෝහේයි සාසකාගාවා (Yohei Sasakawa) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය තුරන් කිරීමේ වත්මන් ප්‍රගතිය, අනාගත සෞඛ්‍ය සැලසුම් සහ අදාළ ආයතන අතර පවතින සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මෑතකදී සාර්ථකව පැවැති ශ්‍රී ලංකා ජාතික ලාදුරු රෝග සමුළුවෙන් පසු ඇති වූ සාධනීය ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා දේශපාලන කැපවීම ඉහළ නැංවීම, ප්‍රජා සහභාගීත්වය දිරිගැන්වීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ රෝගීන් කේන්ද්‍ර කරගත් සේවාවන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සාසකාගාවා සෞඛ්‍ය පදනම ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම් සහ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සහතික වූ අතර, ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා නව හවුල්කාරිත්වයන් ගොඩනැගීමට ද එකඟතාව පළ කළහ.
1974 වසරේදී ජපානයේ පිහිටුවන ලද සාසකාගාවා සෞඛ්‍ය පදනම (Sasakawa Health Foundation), ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව ගෝලීය වශයෙන් ලාදුරු රෝගීන් කල්තියා හඳුනා ගැනීම සහ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කටයුතු කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර පුණ්‍යායතනයකි. ජපානයේ නිප්පෝන් පදනම (The Nippon Foundation) සමඟ එක්ව මෙම ආයතන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිගුකාලීනව මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ලබා දෙයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සාසකාගාවා සෞඛ්‍ය පදනමේ සභාපති මහාචාර්ය තකාහිරෝ නන්රි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේශ් සම්භාජිරාඕ පාණ්ඩේ ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















