ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) තුළ කලක් තිස්සේ රහසිගතව ක්‍රියාත්මක වූ මහා පරිමාණ විදේශීය මත්පැන් ජාවාරමක් සහ එය වසන් කිරීමට කටයුතු කළ ආරක්ෂක අංශයේ ඉහළම කළමනාකාරිත්වය ආරක්ෂා කිරීම සඳහා වත්මන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව තීන්දුවක් ගෙන ඇති බවට ගුවන් සේවයේ සේවක කාර්ය මණ්ඩලය විසින්අනාවරණයක් සිදුකර තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේවකයන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා විසින් ගුවන් සමාගමේ දූෂණ සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ නිලධාරීන් සහ රජයට සම්බන්ධ වෘත්තීය සමිති ලොක්කන් පවා වංචාවට සෘජුවම සම්බන්ධ ප්‍රධාන චූදිතයා බේරාගැනීම සඳහා සන්ධාන ගතව සිටිනා බවයි.
මුළු මහත් රටම ලැජ්ජාවට පත් කළ මෙම ජාවාරමේ සහ බලධාරීන්ගේ කුප්‍රකට මැදිහත්වීමේ පසුබිම් කතාව සේවකයන් විසින් පෙළගස්වන්නේ මෙසේය:
– ජපන් මත්පැන් ජාවාරම සහ වසන් කළ ජ්‍යේෂ්ඨ කළමනාකරු:
පසුගිය 2025 දෙසැම්බර් 23 වන දින ජපානයේ ටෝකියෝ නුවර සිට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිටුවහල් කර මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් පිරිසක්, නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් බෝතල් 52ක දැවැන්ත තොගයක් මෙරටට රැගෙන විත් තිබුණි. එම මත්පැන් තොගය කටුනායකදී ශ්‍රී ලංකා රේගුව මඟින් වටලා රඳවා ගත් අතර, මෙම නීති විරෝධී ක්‍රියාව මාධ්‍ය මඟින් රටට අනාවරණය කරන තුරුම සඟවාගෙන සිටීමට ශ්‍රී ලංකන් ආරක්ෂක අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර කෝසල කාරියවසම් නැමැත්තා කටයුතු කර තිබුණි. මෙම මහා ජාවාරමට ඔහු සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි හෙළිවීම නිසා ගුවන් සමාගම විසින් 2026 මාර්තු 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවා වැඩ තහනමකට ලක් කිරීමට පියවර ගත්තේය. ප්‍රධාන චූදිතයාගේ වැඩ තහනම් කිරීම නිසා බියෙන් තොරව ඉදිරිපත් වූ සෙසු ආරක්ෂක සේවකයන් මෙම ජාවාරම සිදුවූ ආකාරය පිළිබඳ සියලු තොරතුරු පාලනාධිකාරියට හෙළි කිරීමට කටයුතු කළහ.
– වැඩ තහනම උඩුයටිකුරු කළ අමාත්‍යාංශ මැදිහත්වීම:
2026 මාර්තු 31 වන දින පෙරවරු 10.00 ට මානව සම්පත් අංශය මඟින් මෙම වැඩ තහනම විද්‍යුත් තැපෑලෙන් දැනුම් දුන්න ද, එදින පස්වරු 1.30 වන විටත් චූදිත කළමනාකාරවරයා සුපුරුදු පරිදි සිය කාර්යාලයේ රැඳී සිටි බව සේවකයෝ පවසති. සාමාන්‍ය සේවකයෙකුගේ වැඩ තහනම් කළ සැනින් ආරක්ෂක අංශ මඟින් ආයතන පරිශ්‍රයෙන් පන්නා දැමුව ද, මෙම දූෂිත නිලධාරියා වෙනුවෙන් වත්මන් රජයට අනුබද්ධ වෘත්තීය සමිතියක් සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සෘජුවම මැදිහත් වී තිබේ. වඩාත්ම පුදුමයට කරුණ නම්, ගුවන් සේවයේ දූෂණ වංචා සෙවීමට සහ ඊට එරෙහිව නිර්දේශ ලබාදීමට ගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ නිලධාරීන් ද, වෘත්තීය සමිති ලොක්කන් සමඟ කටුනායක පිහිටි මෙම දූෂිත නිලධාරියාගේ කාර්යාලයට පැමිණ ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් කළමනාකාරිත්වයට බලපෑම් එල්ල කිරීමයි.
– ඇමතිගේ අසම්මත නියෝගය සහ සේවක විරෝධය
මෙම සියලු බලපෑම් හමුවේ සිවිල් ගුවන් සේවා ඇමතිවරයා විසින් මත්පැන් ජාවාරම වසන් කළ දූෂිත ආරක්ෂක කළමනාකාරවරයාගේ වැඩ තහනම වහාම අවලංගු කර, ඔහුව නැවත සේවයේ පිහිටුවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට (CEO) නිල නියෝග නිකුත් කර තිබේ. මෙම කැකිල්ලේ තීන්දුව මඟින් වංචාවට සෘජුවම වගකිව යුතු ඉහළ නිලධාරීන් සියලු දෙනා නිදහස් කර, සුළු සේවකයන් වන කනිෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පමණක් බිල්ලට දී වැඩ තහනමකට ලක් කිරීමට ඇමතිවරයා පියවර ගෙන ඇත. අමාත්‍යවරයාගේ මෙම අසම්මත, දූෂිත ක්‍රියාව හේතුවෙන් ජාතික ගුවන් සේවය වෙනුවෙන් අවංකව වැඩ කරන සමස්ත කාර්ය මණ්ඩලය වත්මන් රජය කෙරෙහි දැඩි කලකිරීමකට පත්ව ඇති අතර, මේ වන විටත් ගුවන් සමාගමේ දහසකට (1,000) අධික සේවක පිරිසක් සිය අත්සනින් යුතුව මෙම අසාධාරණයට එරෙහිව ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටිති.
















