පුත්තලම, සාලියවැව පොලිස් වසමට අයත් පලුගස්සෙගම ගම්මානය වත්මන් වන විට අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම මධ්‍යස්ථානයක් (තිප්පොළක්) බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් ගම්මානයේ අහිංසක මහජනතාව සහ තාරුණ්‍යය දැඩි අනතුරකට මෙන්ම පීඩාවකට පත්ව සිටිති.
ගම්වාසීන් පවසන පරිදි, මෙම ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර තිබුණ ද, සාලියවැව පොලිසිය විසින් ඊට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ජාවාරම්කරුවන් කිසිදු බියකින් තොරව සිය කටයුතු කරගෙන යනු ලබයි.
පොලිසියේ මෙම අකර්මන්‍යතාවයට සහ පවතින නීති විරෝධී තත්ත්වයට එරෙහිව දැඩි සේ කලකිරීමට පත් ප්‍රදේශවාසීන්, සිය නිහඬ විරෝධය පළ කිරීම සඳහා අපූරු පියවරක් ගෙන තිබේ. ඒ අනුව ඔවුන් විසින් ප්‍රධාන මාර්ගය අසල “අයිස් කුඩු, ගංජා විකිණීමට ඇත – නීතියෙන් තහනමක් නැත” යනුවෙන් සටහන් කළ අපහාසාත්මක පුවරුවක් (බෝඩ් එකක්) ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
ගම්මානයම විනාශ කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම සඳහා සාලියවැව පොලිසිය සහ උසස් පොලිස් නිලධාරීන් වහාම මැදිහත් වී දැඩි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අසරණ වූ ගම්වාසීහු දැඩි ලෙස අපේක්ෂා කරති.
















