රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධ සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන අංක 02 නිලධාරීන් කණ්ඩායම සමත් වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 80ක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 24ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස ද කටයුතු කරන්නෙකි.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොහු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ප්‍රධාන ගෝලයෙකු බවයි. පසුගියදා හෝමාගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
















