පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ ව්‍යාජ රාජ්‍ය ලේඛන උපයෝගී කරගනිමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරනු ලබන මූල්‍ය වංචාවන්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ජංගම දුරකථන සහ පරිගණක යොදාගනිමින් ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් සකස් කරමින් වංචනිකයින් මෙම ජාවාරම මෙහෙයවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම වංචනිකයින් ශ්‍රී ලංකා මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ වෙනත් පොලිස් විමර්ශන ඒකක ලෙස හඳුන්වා දෙමින් දුරකථන ඇමතුම් ලබා දී මහජනතාව බියගැන්වීම්වලට ලක් කරයි. එහිදී “ඔබේ ජාතික හැඳුනුම්පත යොදාගෙන වංචාවක් කර ඇත”, “බැංකු කාඩ්පතක් ගෙන ගෙවීම් පැහැර හැර ඇත” හෝ “ඔබේ ගිණුම කළු සල්ලි ජාවාරම් (Money Laundering) සඳහා යොදාගෙන ඇත” යනුවෙන් පවසා නීතිමය පියවර ගන්නා බවට ඔවුහු බිය ගන්වති. එමෙන්ම රහසිගත විමර්ශනයක් සිදුකරන බව පවසා, උදව් කිරීමට යැයි අඟවමින් ව්‍යාජ නිල ලාංඡන, ලිපි ලේඛන සහ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප WhatsApp හරහා යොමු කරමින් විමර්ශනවලින් බේරීම සඳහා බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරවා ගැනීමට ද ඔවුහු කටයුතු කරති.
ශ්‍රී ලංකා පොලීසිය කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන බව අවධාරණය කරන අතර, සමාජ මාධ්‍ය හරහා එවනු ලබන රාජ්‍ය ලාංඡන සහිත ලේඛන දුටු වහාම කලබල නොවී ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. මෙවැනි වංචනිකයින් පිළිබඳව තොරතුරු ඇත්නම් පහත දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුවත් කරන ලෙස හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස දන්වා සිටී.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය: 011-2300756
අධීක්ෂණ නිලධාරීන්: 071-8592918 / 071-8591765
















