ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සහාය ලබාදීමට එකඟ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊයේ (11) කොළඹ යෝර්ක් වීදියේදී පැවැති ‘FIFA World Cup Fan Zone 2026’ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට (BOI) අයත් මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමිය තෝරාගෙන ඇති අතර, ඊට අදාළ මූලික නෛතික කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙම නව ක්‍රීඩාංගනය ඉදිකිරීම තුළින් අනාගතයේදී ජාත්‍යන්තර පාපන්දු තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලැබෙනවා සේම, රටේ ක්‍රීඩා සංචාරක කර්මාන්තය (Sports Tourism) ප්‍රවර්ධනය කිරීමට ද විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව, සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ පියවරක් ලෙස කොළඹ පිහිටි ඓතිහාසික ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (Grand Oriental Hotel) නවීකරණය කිරීම සඳහා ද මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
















