සමගි ජන බලවේගයේ (SJB) පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ‘දිට්වා’ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පත්කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
රට තුළ ඇති වූ සුළි කුණාටු තත්ත්වයට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කර තිබුණි. තමන් මේ වන විටත් තවත් කමිටු ගණනාවකට සහභාගි වෙමින් සිටින බැවින්, පවතින දැඩි කාර්යබහුලත්වය හේතුවෙන් මෙම කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
















