හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට අට්ටාල ගහගෙන උපවාස කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, තමන්ගේ බිරිඳට සහ සහෝදරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට උපවාස නොකර නිහඬව සිටින්නේ මන්දැයි ජනතාව තේරුම් ගත යුතු බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි. විපක්ෂය දේශපාලන වාසි තකා මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන බව ඔහු චෝදනා කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ, සලේට අමානුෂික ලෙස සලකන බව පවසන දයාසිරි ජයසේකර මහතා වැනි නීතිඥයන් වගකීමෙන් ප්‍රකාශ කළ යුතු බවයි. සලේ වෙනුවෙන් පෙනී සිටි පිරිස් ඊයේ සිට තම අට්ටාල අකුළාගෙන ගොස් ඇති බවත්, සැබවින්ම අමානුෂික සැලකීමක් සිදු වන්නේ නම් ඔවුන් මානව හිමිකම් කොමිසම වෙත නොයන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය. විමල් වීරවංශ මහතාගේ බිරිඳට සිරදඬුවම් නියම වී, සහෝදරයාට විදේශ ගමන් තහනමක් පනවා තිබියදී ඒ වෙනුවෙන් ‘ලේ කැක්කුමක්’ පෙන්වා මාරාන්තික උපවාස නොකරන්නේ, ඔවුන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍රයන් නිසා බව ද ඇමැතිවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙනත් අතකට හැරවීමට විපක්ෂය උත්සාහ කළ ද, වර්තමානයේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන බැවින් ජනතාව ලබාදුන් ඡන්දයට නිසි වටිනාකමක් ලැබී ඇතැයි පැවසූ මහින්ද ජයසිංහ මහතා, රැකියා අහිමි වූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුන් පාර්ලිමේන්තුව තුළ සිදු කළේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
















