ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින පාකිස්තාන රජයේ සමස්ත දේශීය ණය සහ මූල්‍ය බැඳීම් ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය වන විට පාකිස්තාන රුපියල් බිලියන 58,089 (PKR 58,089 Billion) දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට මහ බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත උපුටා දක්වමින් වාර්තා සඳහන් කළේ, රාජ්‍ය අංශයේ අඛණ්ඩ ණය ලබාගැනීම් හේතුවෙන් දේශීය ණය මට්ටම මෙලෙස තවදුරටත් වර්ධනය වී ඇති බවයි.
2026 මාර්තු මාසයේ වාර්තා වූ පාකිස්තාන රුපියල් බිලියන 57,566 ක දේශීය ණය ප්‍රමාණය සමඟ සැසඳීමේදී අප්‍රේල් මාසයේදී එය සියයට 0.91 කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේ පැවති පාකිස්තාන රුපියල් බිලියන 52,523 ක ණය මට්ටම සමඟ සංසන්දනය කළ විට, වසරක් තුළ සියයට 11 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇත. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය පාකිස්තානයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳව බරපතළ අවදානමක් මතු කරන අතර, එය එරට ආර්ථිකයට තවදුරටත් දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවයි.
















