ඇමෙරිකාවේ දැඩි අපනයන සීමාවන් හමුවේ සිය ප්‍රමුඛතම H200 චිප්ස් චීනයට අපනයනය කිරීම තහනම් වීමත් සමඟ, තාක්ෂණික ලොවේ දැවැන්තයෙකු වන Nvidia සමාගම ඊට සාර්ථක විකල්පයක් සොයාගෙන තිබේ. ඒ අනුව ඔවුන් නිපදවා ඇති නවතම “Vera AI data center CPU” සඳහා චීන පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර, 2026 අගෝස්තු මාසය වන විට එහි පළමු තොගය ලබාදීමට සැලසුම් කර ඇත.
ඇමෙරිකානු රජය විසින් පනවා ඇති සීමාවන් ප්‍රධාන වශයෙන් බලපාන්නේ GPU (Graphics Processing Unit) සඳහා වන අතර, Nvidia හි මෙම නව ‘Vera’ නිෂ්පාදනය CPU (Central Processing Unit) ගණයට අයත් වීම නිසා වත්මන් අපනයන තහංචිවලින් එය නිදහස්ව පවතී. වොෂින්ටනය විසින් මෙතෙක් අවහිර කර නොමැති මෙම නව නිෂ්පාදනය වටා චීනය තුළ සිය ව්‍යාපාරික අධිරාජ්‍යය මුල සිටම නැවත ගොඩනැඟීමට Nvidia කටයුතු කරමින් සිටී.
මෙහි මූල්‍ය දත්තයන්ට අනුව තනි Vera චිපයක මිල ඇමෙරිකානු ඩොලර් 20,000කට අධික වන අතර, චිප්ස් 256කින් යුත් සම්පූර්ණ රැක් (Rack) එකක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වෙයි. මෙම නව වෙළඳ උපායමාර්ගය හරහා වත්මන් මුදල් වර්ෂය අවසාන වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට Nvidia සමාගම අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, Nvidia සමාගම ඇමෙරිකානු නීතිරීතිවලින් රිංගා යමින් සිදුකරන මෙම නවතම චීන ආක්‍රමණය දෙස වොෂින්ටන බලධාරීන් කොපමණ කලක් බලා සිටිනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර තාක්ෂණික ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
















