ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නැවතුණු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා අතර ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු විය. මෙම අවස්ථාව සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත කණ්ඩායමක්ද සහභාගී වූහ.
ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ නෛතික හා පරිපාලනමය කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
















