ප්‍රවාහන, මහාමාර්ග සහ නගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා ඊයේ (ජූනි 12) කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා එහිදී පැවති සාකච්ඡාවකටද එක් වූ අතර, මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුසිත කුමාර (විශ්‍රාමික) මහතාද සහභාගී විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලද පුළුල් ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතුවලින් අනතුරුව, මෙරට ප්‍රධානතම පොදු ප්‍රවාහන මධ්‍යස්ථානය වන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අලුතින් විවෘත කරන ලදී. රුපියල් මිලියන ගණනක පිරිවැයකින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, පොදු ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ‘Clean ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූවකි.
මෙම චාරිකාව අතරතුරදී අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණය කළ අතර, එහි පවතින පහසුකම්, සේවාවන් සහ මෙහෙයුම් කටයුතු සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලූහ.
අනතුරුව පැවති සාකච්ඡාවේදී බස් නැවතුම්පොළේ නඩත්තු කටයුතු, මෙහෙයුම් කළමනාකරණය, දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, ආරක්ෂාව මෙන්ම එහි දෛනික ක්‍රියාකාරිත්වයේදී මතු වන විවිධ අභියෝග පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම මගී පහසුකම්, රථවාහන ගමනාගමනය, පිරිසිදුකම සහ සමස්ත මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගත යුතු ප්‍රායෝගික පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයෝද සහභාගී වූහ.
















