මහා භාණ්ඩාගාරය හරහා විදේශීය ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හෙවත් දේශීය මුදලින් රුපියල් කෝටි 75ක මුදලක් ඕස්ට්‍රේලියානු රහසිගත ගිණුමකට බැහැර කිරීමේ මහා වංචාවට වඩා, මුදල් අමාත්‍යාංශයේ දුර්වල බදු ප්‍රතිපත්ති හේතුවෙන් දුම්වැටි සමාගම් වෙත වක්‍රව ලැබී ඇති රුපියල් කෝටි 1,730ක බදු සහන වංචාව අතිශය දැවැන්ත සහ බරපතල එකක් බව මූල්‍ය විශ්ලේෂණ දත්ත මඟින් නිල වශයෙන් තහවුරු වේ.
මහජනතාව සසල කළ මහ බැංකුවේ රුපියල් කෝටි 75ක සෘජු මංකොල්ලය මෙන් 23 ගුණයකටත් වඩා වැඩි අතිවිශාල රාජ්‍ය ධනස්කන්ධයක් දුම්වැටි සමාගම්වල මාරක මිල සෙල්ලම් හමුවේ රජයට අහිමි වී ඇති බව මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතුය. මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලද මෙම මූල්‍යමය හානි ද්විත්වය දෙස බැලීමේදී, ඕස්ට්‍රේලියානු ගිණුමට ගිය රුපියල් කෝටි 75ක මුදල ඉතා කුඩා අගයක් බවට පත් කරමින්, දුම්වැටි සමාගම්වලට ලැබී ඇති රුපියල් කෝටි 1,730ක බදු සහන මුදල රටේ සමස්ත ආර්ථිකයම අගාධයට ඇද දැමීමට සමත් මහා පරිමාණ ජාවාරමක් බව පැහැදිලි වේ.
















