වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මියගිය අය අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද වේ.
සමස්තයක් ලෙස වසරේ ගතවූ මාස හය තුළ රෝගීන් 40,443ක් වාර්තා වී ඇති අතර ඉන් 50%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම මුළු රටින්ම වාර්තා වන රෝගීන්ගෙන් 25.8%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බැවින් එම කලාපය ‘අධි අවදානම්’ දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇත.
අධික වර්ෂාපතනය මෙන්ම, වෛරසයේ ස්වභාවය සහ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ මට්ටමේ වෙනස්කම් මෙම ව්‍යාප්තියට හේතු වී ඇත. මෙවර රෝගීන් බහුලව වාර්තා වන්නේ නිවාසවලට වඩා පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වීම විශේෂත්වයකි. අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු සහ කානු පද්ධතිවල පවතින අපිරිසිදුකම මදුරුවන් බෝවීමට ප්‍රධාන සාධක වී තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදී, ජුනි 15 වන දින සිට 21 වන දින දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
දින දෙකකට වැඩි තද උණ, හිසරදය, වමනය සහ ශරීරයේ වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම රාජ්‍ය, පෞද්ගලික ආයතන, පාසල් සහ නිවාස අවට පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන සංවිධානය කිරීම, අධි අවදානම් ස්ථාන පරීක්ෂාව සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. පාසල් පිරිසිදු කිරීමේදී 10 ශ්‍රේණියට පහළ සිසුන් යොදා නොගන්නා ලෙසත්, සිසුවෙකුට රෝගය වැළඳී ඇත්නම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසත් උපදෙස් ලබා දී ඇත.
















