පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ (Level 1) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතිශයින් විමසිලිමත්ව කටයුතු කළ යුතු අතර, කඳුබෑවුම් ආශ්‍රිතව පස ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු අසාමාන්‍ය ලෙස ඇද වැටීම්, ගල් පෙරළීම් හෝ එකවරම බොරදිය උල්පත් මතු වීම් වැනි පූර්ව නායයෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස NBRO ආයතනය දැනුම් දෙයි. අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ අවදානම තවදුරටත් වර්ධනය විය හැකි බැවින් නිල මාධ්‍ය ප්‍රකාශ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද දන්වා සිටී.
















