ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අද (13) දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගන්නා ලදී.
රට මුහුණ දී ඇති වත්මන් බරපතළ අර්බුද රැසක් පිළිබඳව මෙහිදී මහානායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීමට එම නායකයින් පියවර ගත්හ. සාකච්ඡා වූ ප්‍රධාන කරුණු අතර ඩොලර් අර්බුදය නිසා උද්ගත වූ ආර්ථික අසීරුතා, අයවැය හිඟය හමුවේ ජනතාව මත පැටවී ඇති දැඩි බදු බර, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීති ක්ෂේත්‍රයේ ගැටලු මෙන්ම ද්විත්ව ආපදාවෙන් විනාශයට පත් මාර්ග කඩිනමින් පිළිසකර නොවීම නිසා ජනතාව විඳින පීඩාවන් ප්‍රධාන විය.
එමෙන්ම, සම්බුද්ධ ශාසනයට සහ ආගමික සාරධර්මවලට එල්ල වී ඇති විවිධ බලපෑම් පිළිබඳව ද මෙහිදී මහානායක හිමිපාණන් වහන්සේගේ අවධානයට යොමු කෙරිණි. රට නැවත නිවැරදි මඟට ගැනීමට සහ ජනතාව පීඩාවන්ගෙන් මුදවා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහානායක නාහිමිපාණන් වහන්සේගේ වටිනා අනුශාසනාවන් සහ ආශීර්වාදය ලබා ගැනීමට ද එම නායකයින් කටයුතු කළහ.
















