ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට තම නිෂ්පාදන චීනයේ ගබඩා කර තබා ගැනීම සඳහා කුන්මින් නගරයෙන් වර්ගමීටර 2,000ක නොමිලේ ගබඩාගාර පහසුකමක් හිමිව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කුන්මින් නගරයේ ආණ්ඩුකාරවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව උදා වී ඇත.
මෙම වරප්‍රසාදය පිළිබඳව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම ගබඩා පහසුකම ඔස්සේ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා කුන්මින් වෙළෙඳපොළ තුළ විශාල වෙළෙඳ සබඳතා ජාලයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව උදාවන බවයි.
10 වන චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය ජූනි 11 සිට 16 දක්වා චීනයේ කුන්මින් නුවර, ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. රටවල් 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගී වන මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපනයනකරුවන් 100ක් ඇතුළු 200කට අධික පිරිසක් එක්ව සිටිති. තේ, කුරුඳු, කුළුබඩු, මැණික්, ආයුර්වේද නිෂ්පාදන, ආහාර සහ ඇඟලුම් වැනි අපනයන භාණ්ඩ සඳහා නව ගැනුම්කරුවන් හඳුනා ගැනීම සහ චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශ වීම මෙහි ප්‍රධාන අරමුණයි.
වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වන ව්‍යවසායකයන් සඳහා නොමිලේ ප්‍රදර්ශන කුටි පහසුකම් ද සලසා දී ඇත. මෙම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වර්ධනය කිරීමේ ප්‍රධාන වේදිකාවක් ලෙස සැලකේ.
















