හෙට දවසේ රට බාරගැනීමට සිටින අනාගත නායකයින් ගොඩනැගෙන්නේ සදාචාරාත්මක වටිනාකම් මත යැයි නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ප්‍රකාශ කරයි.
ශිෂ්‍ය ප්‍රජාව කුඩා කල සිටම වැඩිහිටියන්ට ගරු කිරීම, සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කර ගැනීම සහ අවංක පුරවැසියන් ලෙස රටට ආදර්ශවත් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව කියා සිටියේය. මෙම සුවිශේෂී සභා වාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
විද්‍යාර්ථ විද්‍යාලයේ ශිෂ්‍යයන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම කාලීන වැඩසටහන සංවිධානය කර තිබුණි.
















