ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීම සඳහා, අනෙකුත් රටවල් සමඟ පවත්වනු ලබන සාම්ප්‍රදායික ද්විපාර්ශ්වික (Bilateral) ක්‍රිකට් තරග සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සිය අවධානය යොමු කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙකු නිර්නාමිකව ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග පැවැත්වීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව මණ්ඩලය නැවත සලකා බලමින් සිටින බවයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර රූපවාහිනී විකාශන ආයතන (Broadcasters) පවා වත්මන් වටපිටාව තුළ එවැනි ද්විපාර්ශ්වික තරග සඳහා ඉහළ මූල්‍ය වටිනාකමක් ලබා දීමට දැඩි මැලිවීමක් දැක්වීමයි.
එමෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත පැවැත්ම උදෙසා එය ද ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩාවේ පවතින ‘ක්ලබ් ආකෘතිය’ (Club model) වෙත කඩිනමින් යොමු විය යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
පාපන්දු ක්‍රීඩාවේදී ලෝක කුසලානය (FIFA World Cup) හෝ යුරෝ කුසලානය (UEFA Euro) වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලි හැරුණු විට, වසරේ වැඩි කාලයක් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ‘ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග්’ (EPL) සහ ‘ලා ලිගා’ (La Liga) වැනි පෞද්ගලික සමාජ මට්ටමේ ලීග් තරගාවලි සඳහා වන අතර, ක්‍රිකට් ක්‍රීඩාව ද එම වාණිජමය මාවතට අවතීර්ණ විය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
















