ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලබා දෙන ඉන්ධන සහනාධාරය සඳහා රජය වෙන් කළ ප්‍රතිපාදන ජූනි මාසයෙන් අවසන් වන බව එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි. රජයේ මුදල් කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය.
අප්‍රේල් මාසයේ සිට ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් බැගින් සහනාධාරයක් රජය විසින් ලබා දී ඇති අතර, අප්‍රේල් මාසය සඳහා පමණක් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 15.3ක් වැය වී ඇත. ජූනි මාසයෙන් පසු මෙම සහනාධාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
සභාපතිවරයා පෙන්වා දුන් පරිදි, රජය රුපියල් 100ක සහනාධාරයක් ලබා දුන්නද, අප්‍රේල් මාසයේ දත්ත අනුව ඩීසල් ලීටරයකින් සංස්ථාවට සිදුවන සම්පූර්ණ අලාභය රුපියල් 129කි. ඒ අනුව, සහනාධාරය ලබා දුන්නද සංස්ථාව තවමත් ඩීසල් ලීටරයකින් රුපියල් 29ක අලාභයක් විඳියි.
ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමේදී සැලසුම් සහගතව කටයුතු කරන ලෙස මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සංස්ථාවට උපදෙස් දුන්නේය. සංස්ථාව වරකට විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළෙඳපොළෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා විනිමය අනුපාතය ඉහළ ගොස් භාණ්ඩ මිල වැඩිවීම ජනතාවට පීඩාවක් බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, දිනකට ඩොලර් මිලියන 11 බැගින් බැංකු හරහා ලබා ගැනීමට සැලසුම් කර ඇති බව සභාපතිවරයා පැවසීය.
















