කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයට අනුව, දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇත. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40-50 අතර වේගයකින් තද සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















