පවතින වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය කිරීමේ අරමුණින්, විශේෂ භාණ්ඩ බදු (Special Commodity Levy – SCL) ඉවත් කිරීමට මින් පෙර රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇත. වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අයි.ජේ. අබේරත්න මහත්මිය සඳහන් කළේ, ආහාර මිල ගණන් සමබරව පවත්වා ගැනීම සඳහා මෙම බදු ක්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇය වැඩිදුරටත් අවධාරණය කළේ 2007 අංක 48 දරන විශේෂ භාණ්ඩ බදු පනත අහෝසි කිරීමට පෙර රජය ගෙන තිබූ තීරණය, වත්මන් රජය විසින් 2024 දෙසැම්බර් 18 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය හරහා අවලංගු කරනු ලැබූ බවයි. මෙම බදු ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට සහ දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. බදු පරිපාලනය අතින් පහසු වුවද, ජාත්‍යන්තර වෙළෙඳ නීතිරීතිවලට අනුකූලව, මෙම බද්ද සමස්ත ආනයන සඳහා නොව, තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් සීමා කර ඇත.
පෙර රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 64ක් ඇතුළත් වන පරිදි මෙම පනත අහෝසි කිරීමට සැලසුම් කර තිබුණේ 2025 ජනවාරි 1 වන දින සිටය. කෙසේ වෙතත්, වත්මන් රජය පෙන්වා දෙන්නේ මෙම පනත අහෝසි කිරීමෙන් පසුව අදාළ භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බදු (VAT) ඇතුළු වෙනත් බදු අය කිරීමට සිදුවන බවත්, එය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමටත්, දේශීය ගොවීන්ට අහිතකර බලපෑම් ඇති වීමටත් හේතු වන බවයි. එමනිසා, දැනට පවතින විශේෂ භාණ්ඩ බදු පනතම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව රජයේ ස්ථාවරයයි.
















