ශ්‍රී ලංකාවේ බේකරි කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොකර, රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් කර ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. කොළඹ පැවති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් ඇය මේ බව සඳහන් කළේය.
ආහාර නිෂ්පාදනයක පදනම ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළාය. සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ නව නිෂ්පාදන නිර්මාණය කිරීම හරහා ගෝලීය “සෞඛ්‍ය සම්පන්න ආහාර” ප්‍රවණතාවය ජය ගැනීමට බේකරි කර්මාන්තයට විශාල හැකියාවක් පවතින බව ඇය පෙන්වා දුන්නාය.
විදේශීය සංචාරකයන්ට සපයන ආහාර සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීම මගින් දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් ලැබෙන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින අතර, අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කිරීම, නව තාක්ෂණය සඳහා සහනදායී ණය පහසුකම් ලබාදීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට රජය කටයුතු කරන බවද ඇය සහතික විය. කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශය හරහා වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
















