ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 54ක් ඉලක්ක කරමින් යෝජනා කර ඇති නව වෙළඳ තීරුබදු මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට බලපෑම් එල්ල විය හැකිය. මෙම තත්ත්වය මූලික වශයෙන් උද්ගත වී ඇත්තේ නිෂ්පාදන දාමයේ බලහත්කාරී ශ්‍රමය (Forced Labour) භාවිතය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන බව ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයේ ‘සෙක්ෂන් 301’ සමාලෝචනය මගින් හඳුනා ගැනීම හේතුවෙනි.
යෝජිත නව තීරුබදු 10% සිට 12.5% දක්වා පරාසයක පවතී. ශ්‍රී ලංකාව 12.5%ක ඉහළ බදු කාණ්ඩයට වැටීමට වැඩි ඉඩකඩක් ඇති බැවින්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකික නිෂ්පාදනවල තරඟකාරිත්වය ගිලිහී යාමේ අවදානමක් පවතී. ඇමරිකාව අවධානය යොමු කරන්නේ නිෂ්පාදිත භාණ්ඩය පමණක් නොව, එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගේ සිට අවසන් නිෂ්පාදනය දක්වා වූ සමස්ත දාමය තුළම සදාචාරාත්මක ශ්‍රම භාවිතය තහවුරු කිරීම කෙරෙහි ය. ශ්‍රී ලංකාව තුළ එවැනි පුළුල් නියාමන රාමුවක් තවමත් ස්ථාපිත වී නොමැත.
2026 වසරේ මුල් මාස හතර තුළදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ තේ අපනයන පිළිවෙලින් 7%කින් සහ 6%කින් පහළ ගොස් ඇත. මෙවැනි පසුබිමක අමතර තීරුබදු පැනවීම අපනයන ක්ෂේත්රයට දරාගත නොහැකි ආර්ථික පීඩනයක් වනු ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර, බලහත්කාරී ශ්‍රමය වැළැක්වීමේ නීතිමය රාමු ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටී. අපනයනකරුවන් පෙන්වා දෙන්නේ බොහෝ දේශීය ඇඟලුම් සමාගම් සදාචාරාත්මක වෙළඳ සහතික ලත් වුවද, සමස්ත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමේ නීතිමය යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවයි.
















