පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල නිවාස 14 ක් බිද එම නිල නිවාස වල සවිකර තිබූ විදුලි මීටර, බ්‍රේකර් පද්ධති, ස්විච් සහ වයර් ඇතුළු උපකරණ ගලවාගෙන ගොස් රුපියල් ලක්ෂ 27 කට අධික අලාභයක් සිදුකර බව පසුගිය කාල සීමාවේ වාර්තා වී ඇත.
මෙම අපරාධය සිදුකරන ලද පුද්ගලයන් පසුව පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය සදහා නිලධාරීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර කොන්ත්‍රාත් පදනම මත බදවාගත් පුද්ගලික ආරක්ෂක නිලධාරීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් ද සේවයේ යොදවා සිටී. විශ්වවිද්‍යාලයේ දේපල ආරක්ෂාව භාරව ඇත්තේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු මෙම ආරක්ෂක නිලධාරීන් වෙතය.
මෙතරම් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාවට යොදවා සිටියදී එක දිගට නිල නිවාස 14 ක් බිද දේපල සොරා ගෙන යන තෙක් එම ආරක්ෂක අංශ කුමක් කලේ දැයි සොයා බැලීමට මෙතෙක් බලධාරීන් කටයුතු කර නොමැති බව වාර්තාවේ.
රාජ්‍ය ආයතනයක මිලියන ගණනක පොදු දේපල හානියක් සිදුව තිබියදී ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාල වගකීම් පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවැනි කටයුත්තක් මෙතෙක් සිදුකර නැත.
ඒ වෙනුවට උපකුලපති ටෙරන්ස් මධුජිත් විසින් විශේෂ රැස්වීමක් කැදවා ආරක්ෂක අංශයේ සේවය අගය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තාවේ. කෝප් කමිටුව, විගණන අංශ ඇතුළු බලධාරීන්ට මේ ගැන සොයා බැලීමට හැකියාවක් ඇත.
















