ලෝක දුම්කොළ විරෝධී දිනය වෙනුවෙන් මෙවර ‘අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ’ යන තේමාව යටතේ ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් දැවැන්ත දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙන්නේ, ගෝලීය ආහාර අර්බුදයක් පවතින මොහොතක දුම්කොළ වගාව වෙනුවට පෝෂ්‍යදායී බෝග වගා කිරීමේ අත්‍යවශ්‍යතාවයයි.ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 20,000ක් වන අතර, එය දිනකට පුද්ගලයන් 55 දෙනෙකුගේ ජීවිත අහිමි වීමකි. ජනතාව දිනකට රුපියල් මිලියන 400ක් පමණ දුම්වැටි සඳහා වියදම් කරන අතරතුර, රජය වාර්ෂිකව රුපියල් මිලියන 84,320ක සෞඛ්‍ය සහ ආර්ථික අලාභයක් දරයි.
විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් පසුගිය වසර පහ තුළ පමණක් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 200කි.දුම්කොළ වගාව මගින් ඉඩම්වල සරුභාවය අඩුවීම, ජල මූලාශ්‍ර දූෂණය සහ වන විනාශය වැනි බරපතල පාරිසරික ගැටලු උද්ගත වී ඇත. ආර්ථික අර්බුදය හමුවේ ආහාර සුරක්ෂිතතාව බිඳ වැටී ඇති මිලියන 6.3ක් වූ ශ්‍රී ලාංකිකයන්ට, දුම්කොළ වගාව වෙනුවට විකල්ප ජීවනෝපාය මාර්ග හඳුන්වා දීමේ 2017 වසරේ සැලසුම් තවමත් කඩදාසියට පමණක් සීමා වී තිබීම ඛේදවාචකයකි. දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් පසෙකලා, මහජන සෞඛ්‍ය සහ රටේ අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දුම්කොළ වගාව තහනම් කරමින් ශක්තිමත් නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.
















