නිවස තුළ ජීවිත තර්ජනයකට ලක්ව සිටි විදේශීය කාන්තාවක් සිය සූක්ෂ්ම බුද්ධිය සහ පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික තීරණයක් මත නිරුපද්‍රිතව බේරී ගත් පුවතක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා (Sharjah) නගරයෙන් වාර්තා වේ. ගල්ෆ් නිව්ස් (Gulf News) වෙබ් අඩවිය මෙම සිදුවීම වාර්තා කර තිබුණි. රාත්‍රී කාලයක සාජා පොලිසියේ හදිසි ඇමතුම් අංශයට අමුතුම ආකාරයේ ඇමතුමක් ලැබී තිබේ. කාන්තාවක් දුරකතනයෙන් අමතා “මට ඉක්මනට පීසා එකක් ඕනෑ” යැයි පැවසූ විට, එය වැරදි ඇමතුමක් බව සිතූ පොලිස් නිලධාරියා එය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළේය. කෙසේ වෙතත්, නැවත නැවතත් එම කාන්තාව එය පීසා ඇණවුමක් බවම අවධාරණය කිරීම නිසා, දුරකථනයට පිළිතුරු දුන් “ඛමීස්” නම් පොලිස් නිලධාරියාට ඇය දැඩි අනතුරක (Duress) සිටින බවත්, තමන් අසල සිටින කිසිවෙකුට නොදැනෙන්නට උදව් ඉල්ලන බවත් වහාම වැටහී ඇත.ඇයට නිදහසේ කතා කිරීමට ඉඩක් නොමැති බව තේරුම් ගත් ඛමීස්, ඇයගේ රංගනයට දායක වෙමින් රහස් කේත මඟින් තොරතුරු විමසා තිබේ. “පීසා කීයක් ඕනද?” යනුවෙන් විමසූ විට ඇය “එකක්” යැයි පැවසීමෙන් තමන් පමණක් අනතුරේ සිටින බවත්, “බීම වර්ග කීයක් ඕනද?” යනුවෙන් විමසූ විට ඇය “දෙකක්” යැයි පැවසීමෙන් සැකකරු ඇතුළුව තවත් පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටින බවත් වටහා ගැනීමට ඔහු සමත් විය. කාන්තාව සමඟ අඛණ්ඩව දුරකථන සම්බන්ධතාවය පවත්වා ගනිමින්, තාක්ෂණය ඔස්සේ ඇය සිටින ස්ථානය (Live Location Tracing) සොයා ගැනීමට ඛමීස් සමත් විය. ස්ථානය තහවුරු වූ වහාම සාජා පොලිසියේ විශේෂ කාර්ය බලකා ක්ෂේත්‍ර ඒකක (Field Units) එම නිවස වටලා, සැකකරු අත්අඩංගුවට ගෙන අසරණව සිටි කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළේය.පොලිස් නිලධාරියෙකුගේ ඉහළ අවධානය සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව හේතුවෙන් මෙම කාන්තාවගේ දිවි බේරා ගැනීමට හැකි වූ අතර, මෙය ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ සුවිශේෂී සිදුවීමකි.















