එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් මහතාට අයත් හෝ ඔහුට සම්බන්ධ දේපළ සහ වාහනයක් ඉලක්ක කරගෙන 2025 වසරේ මැයි මාසයේදී ලන්ඩන් නුවරදී සිදු කරන ලද ගිනි තැබීමේ මාලාවකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ඔප්පු වී තිබේ. ලන්ඩන් ත්‍රස්ත විරෝධී පොලිස් ඒකකය (CTP London) විසින් මෙම විමර්ශනය ආරම්භ කර කෙටි කාලයක් තුළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. ‘ඕල්ඩ් බෙයිලි’ (Old Bailey) අධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව රෝමේනියානු ජාතික ස්ටැනිස්ලාව් කාර්පියුක් සහ යුක්රේන ජාතික රෝමන් ලැව්රිනොවිච් යන දෙදෙනා ගිනි තැබීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට වරදකරුවන් කර ඇත. ලැව්රිනොවිච්ට එරෙහිව පුද්ගල ජීවිතවලට හානි විය හැකි ලෙස ගිනි තැබීම් සිදුකිරීමේ චෝදනා ද ඔප්පු වී තිබේ.මෙම ප්‍රහාර මාලාවට අනුව, 2025 මැයි 8 වන දින අග්‍රාමාත්‍යවරයාට අයත්ව තිබූ ටොයෝටා රථයක් ගිනි තබා විනාශ කර තිබූ අතර, මැයි 11 දින ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමාගමකට අයත් දේපළක දොරටුවේ ගින්නක් ඇති කර තිබුණි. අනතුරුව මැයි 12 දින ඔහුට අයත් ඉස්ලින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසකට තුන්වන ගිනි තැබීම සිදු කෙරුණි. සීසීටීවී දර්ශන, දුරකථන දත්ත සහ ‘ටෙලිග්‍රෑම්’ පණිවිඩ ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය සමත් වූ අතර, ‘එල් මනී’ (El Money) නම් නිර්නාමික පුද්ගලයෙකු විසින් මුදල් ලබාදීමේ පොරොන්දුව මත මෙම ප්‍රහාර සඳහා ඔවුන්ව බඳවාගෙන ඇති බව හෙළි විය. ලැව්රිනොවිච් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, රෝමේනියාව බලා පලා යාමට උත්සාහ කරමින් සිටි කාර්පියුක් ලූටන් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඩීඑන්ඒ සාක්ෂි, සීසීටීවී දර්ශන සහ ගිනි ඇවිලවීමට භාවිත කළ ද්‍රව්‍ය මිලදී ගත් ආකාරය පිළිබඳ සාක්ෂි විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පෙට්‍රෝ පොචිනොක් නම් පුද්ගලයා නඩු විභාගයෙන් අනතුරුව නිදොස් කොට නිදහස් කර තිබේ. වරදකරුවන් වූ ලැව්රිනොවිච් සහ කාර්පියුක්ට දඬුවම් නියම කිරීම ජූනි 19 වන සිකුරාදා සිදු කිරීමට නියමිතය. ත්‍රස්ත විරෝධී ඒකකයේ අණදෙන නිලධාරී හෙලන් ෆ්ලැනගන් මහත්මිය සඳහන් කළේ, අන්තර්ජාලය හරහා මුදල් පොරොන්දු වී මෙවැනි අපරාධ සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත්, මෙවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකු නීතිය ඉදිරියට ගෙන එන බවත්ය.
















