දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් දුම්කොළ හා නිකොටින්වලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති, ඵලදායී නීති රීති සහ පුළුල් මහජන දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ “දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ හා නිකොටින් නිෂ්පාදනයට එරෙහි වෙමු” යන තේමාව යටතේ පැවැති ලෝක දුම්කොළ විරෝධී දින සැමරුම් උත්සවයට එක්වෙමිනි. මෙම අවස්ථාවට අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් ද සහභාගී වූහ.
තරුණ පරපුර දුම්කොළ හා නිකොටින්වලට ඇබ්බැහි වීම වැළැක්වීම සහ දුම්කොළ භාවිතයෙන් තොර නිරෝගී පරම්පරාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. තරුණ පරපුර දුම්කොළ භාවිතයෙන් මුදවා ගැනීම සමස්ත ජාතියේම වගකීමක් බව ද වෛද්‍ය රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















