අලි-මිනිස් ගැටුමට තිරසාර සහ ස්ථාවර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යටතේ හදපානාගල අලි කොරිඩෝව ඇතුළු ප්‍රධාන අලි කොරිඩෝ කිහිපයක් පසුගියදා (5) නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
අවිධිමත් ලෙස සිදුකළ සංවර්ධන ව්‍යාපෘති, සැලසුම් රහිත පදිංචිකිරීම් සහ විධිමත්භාවයකින් තොරව ඉඩම් බෙදාදීම් හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම සාම්ප්‍රදායික අලි සංක්‍රමණික මාර්ග අවහිර වී පැවතුණි. මෙම අලි කොරිඩෝ නිදහස් කිරීම හේතුවෙන් වන අලීන්ට ආහාර හා ජලය සොයා නිදහසේ ගමන් කිරීමට අවස්ථාව සැලසෙන අතර, එමඟින් අලි-මිනිස් ගැටුම ද විශාල වශයෙන් අවම කරගත හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.
රජය විසින් දැනටමත් හඳුන්වා දී ඇති තෙවැදෑරුම් අලි-මිනිස් ගැටුම් කළමනාකරණ සැලැස්ම යටතේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන පියවරක් ලෙස මෙම අලි කොරිඩෝ නිදහස් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ. මෙරට අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම අරමුණු කරගනිමින් තවත් විශේෂ වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.
















