දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නායයෑමට ලක්වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එළඹෙන සැප්තැම්බර් මාසය වන විට එහි වැඩකටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රකාශ කළේය.
කුණාටු තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල, ග්‍රේට්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන ආසන්නයේ ස්ථාන 5ක් නායයෑමට ලක්ව තිබේ. ඉන් කොටගල සහ තලවකැලේ 112.5 සැතපුම් කණුව අසල මීටර් 50ක කොටසක මෙන්ම, නානුඔය සහ අඹේවෙල අතර නායගිය ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු පෞද්ගලික අංශය වෙත පවරා ඇති අතර, එම සියලු කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
කොටගල සහ තලවකැලේ අතර මීටර් 50ක පමණ නායගිය කොටස යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළුගල් අතුරා ආරක්ෂිත පැති බැමි ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු සේවා සැපයුම් දුම්රියක් සහ එහි සේවකයන් ද යොදවා ගෙන ඇත.
















