වත්මන් ආණ්ඩුව ප්‍රමුඛ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට හැකි නම් මේ මොහොතේ මැතිවරණයක් පවත්වා පෙන්වන ලෙසත්, එයින් සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවටත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අභියෝග කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මැදවච්චිය, වහමලුගොල්ලෑව ප්‍රදේශයේ පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ, අමාත්‍ය ලාල්කාන්ත මහතා රැස්වීම් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් මැතිවරණ පවත්වන්නදැයි අසා, පසුව තමන්ම ඊට ‘එපා’ යැයි කියමින් මහජන මතය බිඳීමට උත්සාහ කරන බවයි. මැතිවරණයෙන් පරාජය වන බව දැනගෙන ආණ්ඩුව මෙලෙස ‘මුට්ටිය දමා බැලීමක්’ සිදුකරන බවත්, මෙවර සමගි ජන බලවේගය ඊට සූදානමින් සිටින බැවින් මුට්ටි නොදමා කෙළින්ම ඡන්දයක් පවත්වා මහජන මතයට ඉඩ දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම, පසුගිය සමයේ ගෙන ආ ජනතාවට තොරතුරු දැනගැනීමේ පනත වත්මන් ආණ්ඩුව විසින් ක්‍රමානුකූලව අක්‍රිය කරමින් සිටින බවට ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය. මහජනතාව තොරතුරක් ඉල්ලා සිටි විට එය ලබාදීම ප්‍රමාද කරමින්, තොරතුරු ඉල්ලන අයට එය එපා කරවන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරන බවත්, මෙය ජනතාව බලාපොරොත්තු වූ පාලනයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















