කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC) හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් බිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (15) පෙරවරුවේ පැවැති ගනුදෙනුවලදී ඩයලොග් සමාගමේ කොටසක මිල රුපියල් 44.90 ත් 46.40 ත් අතර අගයක පැවති අතර, ඒ අනුව එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 420 සීමාවද ඉක්මවා ගියේය. මේ වන විට ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ රුපියල් බිලියන 400කට වඩා වැඩි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන එකම ලැයිස්තුගත සමාගම වන්නේ ද ඩයලොග් ආසියාටා සමාගමයි.
යම් සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය (Market Capitalization) ගණනය කරනු ලබන්නේ, එම සමාගම විසින් නිකුත් කර ඇති මුළු කොටස් ප්‍රමාණය, පවතින කොටස් මිලෙන් ගුණ කිරීමෙනි. මේ හේතුවෙන් කොටස් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් මත සමාගමේ සමස්ත වටිනාකම ද ඉහළ පහළ යනු ලබයි. මෙම වාර්තාගත වර්ධනයත් සමඟ ඩයලොග් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම අනුව විශාලතම සමාගම් 08 අතර පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.
















