වසර විසිපහකට අධික කාලයකින් පසුව සංශෝධනය කෙරෙන “ජාතික පාරිසරික පනත් කෙටුම්පත” ලබන ජූනි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. පරිසරවේදීන්, කර්මාන්තකරුවන්, නීතිවේදීන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු ක්ෂේත්රයේ විද්වතුන් රැසකගේ අදහස් ලබාගනිමින් සකස් කළ මෙම නව සංශෝධනය පාරිසරික ක්ෂේත්රයේ සියලු දෙනා ලැබූ විශාල ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම නව පනත මඟින් පරිසරය සුරැකීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සතු වගකීම නීත්‍යනුකූලව තහවුරු කර ඇති අතර, පැවරෙන විධාන පැහැර හරින ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට හිමි වේ. එහිදී වරද නිවැරදි කිරීමට අධිකරණය දෙන නියෝග කඩ කරන ආයතන වෙත ඉහළ දඩ මුදල් පැනවීමේ බලය මහේස්ත්රාත්වරයාට පැවරෙනු ඇත.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ දැඩි කාර්මික අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීම මත කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමීමේ ආඥා ලබා ගැනීමට නව පනතින් ප්‍රතිපාදන සලසා ඇත. එමෙන්ම උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා තාක්ෂණික විද්‍යුත් කමිටුවල අධීක්ෂණය යටතේ දැඩි නීතිරීති පැනවෙන අතර, පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා සඳහා අසත්‍ය තොරතුරු සැපයීම සහ අනුමැතියකින් තොරව ව්‍යාපෘති වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ. මීට අමතරව භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරන ‘නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම’ සංකල්පය සහ තෙත්බිම් සංරක්ෂණය සඳහා නව නීති පද්ධතියක් ද මෙයට ඇතුළත් වේ.
2025 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවූ මෙම පනත් කෙටුම්පත, 2026 අප්‍රේල් 22 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර මැයි 06 වැනිදා පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මතු පරපුර උදෙසා සදාහරිත ජීවිතයක් තිළිණ කිරීමේ අරමුණින් ගෙනෙන මෙම පනත සම්මත කර ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















