සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) සිදුවූ බව කියන දූෂණ සහ වංචා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) තීරණය කර තිබේ.
අල්ලස්, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වෙත ලිපියක් යොමු කරමින් අල්ලස් කොමිසමේ පැමිණිලි කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මේ බව දැනුම් දී ඇත.
අල්ලස්, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සහ වංචා රැසක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවයි. විවිධ වර්ගයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම්වලදී සිදුවූ බව කියන අක්‍රමිකතා මෙම පැමිණිල්ලේ අන්තර්ගත වේ.
පසුගිය වසර ගණනාවක් පුරා සෞඛ්‍ය අංශය තුළ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මිලදී ගැනීම් සිදු කිරීමේදී දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නැවත නැවතත් චෝදනා එල්ල වී තිබේ. විවිධ අවස්ථාවලදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු ප්‍රධාන චරිත කිහිපයක් මෙම ගැටලු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් හෝ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත.
















