පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ රට පුරා දරුවන් අතර බෝවන රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසයි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන මහතා විශේෂයෙන් සඳහන් කරන්නේ, දරුවන් අතර දැනට බහුලව වාර්තා වන රෝගී තත්ත්වයන් කෙරෙහි දෙමාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.
ඩෙංගු උණ රෝගය පැතිරීම වැළැක්වීමට මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ දරුවන් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. අධික උණ සහ විජලන ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ශ්වසන ආසාදන සම්බන්ධයෙන් දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ කැස්ස වැනි ලක්ෂණ ගැන අවධානය යොමු කරන්න. මදුරුවන් මඟින් පැතිරෙන චිකුන්ගුන්යා රෝගය දරුවන්ගේ සන්ධිවල වේදනාව සහ උණ වැනි ලක්ෂණ ඇති කරයි. මොළයේ සහ සුෂුම්නාවේ පටල ආසාදනය වන බරපතල තත්ත්වයක් වන මෙනින්ජයිටිස් රෝගයේදී බෙල්ල තද වීම, අධික උණ, වමනය සහ සිහි මඳ ගතිය වැනි ලක්ෂණ පෙන්වයි. මීට අමතරව, දූෂිත ජලය සහ ආහාර මගින් පැතිරෙන පාචන රෝග වැළැක්වීම සඳහා දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීම සහ පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම අනිවාර්ය වේ.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දරුවාගේ සාමාන්‍ය හැසිරීමේ යම් වෙනසක්, අධික උණ හෝ ආහාර අරුචියක් පවතී නම් එය නොසලකා නොහැර වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසයි. නිවසේ සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම මෙම රෝග වළක්වා ගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි.
පවතින කාලගුණ තත්ත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පූර්ව සුපරීක්ෂාකාරී වීම මගින් බරපතල තත්ත්වයන් වළක්වා ගත හැකිය.
















