ලොවම හොල්ලන මූන්වෝක් (Moonwalk) නැටුමෙන් සහ අසහාය ගායන හැකියාවෙන් මිලියන ගණනක් රසිකයින් උමතු කළ පොප් සංගීතයේ රජු, මයිකල් ජැක්සන්ගේ දිලිසෙන ජීවිතය පිටුපස තිබූ අතිශය අඳුරු සහ සංවේදී තනිකම පිළිබඳව ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා වූ මැට් ෆිඩෙස් (Matt Fiddes) සිදුකළ හෙළිදරව්ව මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තිබේ. 1999 සිට 2009 දක්වා වසර 10ක කාලයක් ජැක්සන්ගේ සෙවණැල්ලක් ලෙස කටයුතු කළ ෆිඩෙස්, ‘The Art of Dialogue’ පොඩ්කාස්ට් වැඩසටහන සමඟ එක්වෙමින් පවසන්නේ මයිකල් ජැක්සන් යනු ලෝකයේ සිටි තනිකමෙන් පීඩා විඳිම අසරණම මිනිසා බවයි.
මැට් ෆිඩෙස් විස්තර කරන පරිදි, ප්‍රසංග වේදිකාවේදී ලක්ෂ ගණනකගේ ආදරයට පාත්‍ර වී රජෙකු ලෙස වැජඹුණු ජැක්සන්, සිය හෝටල් කාමරයට පැමිණි පසු සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකි. “ලෝකයේ ප්‍රසිද්ධම නළු නිළියෝ, ගායකයෝ සහ දේශපාලනඥයෝ ඔහු සමඟ පින්තූරයක් ගන්න පොරකෑවා. නමුත් ඔවුන් සියල්ලන්ම ආවේ මයිකල්ගේ ‘ප්‍රසිද්ධිය’ එක්ක මිසක්, මනුස්සයෙක් විදියට මයිකල් එක්ක නෙවෙයි. ඔහුගේ හිතේ තිබුණු වේදනාව අහන්න, උරහිසට අතක් තියලා ‘මයිකල්, ඔයාට කොහොමද?’ කියලා අහන්න ඇත්තම යාළුවෙක් ඔහුට හිටියේ නැහැ,” යැයි ෆිඩෙස් කඳුළු පිරුණු දෑසින් පවසයි.
2009 ජූනි 25 වනදා මයිකල් ජැක්සන් මෙලොවින් සමුගැනීම ලොවටම දැඩි කම්පනයක් ගෙන දුන් අතර, ඉන්පසු සිදු වූ සිදුවීම් පිළිබඳව මැට් ෆිඩෙස් දැඩි කලකිරීමක් පළ කරයි. “මයිකල් ජීවත් වෙලා ඉද්දි ඔහු ගැන සොයා නොබැලූ, ඔහුව මඟහැරපු බොහෝ සුපිරි තරු, ඔහු මියගිය පසු රූපවාහිනී නාලිකා ඔස්සේ පෙනී සිටිමින් ‘මයිකල් මගේ හොඳම යාළුවා’ යැයි ගුණ වයන්න පටන් ගත්තා. මයිකල් ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී, තනිකමෙන් පිස්සු වැටෙන්න ගිය ඒ අමාරුම කාලවල් වලදී මේ කිසිම කෙනෙක් කොහේද හිටියේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
මයිකල්ගේ ජීවිතයේ අවසන් කාලය මාධ්‍ය මඟින් එල්ල වූ අපහාස, චෝදනා සහ 24 පැය පුරාම කැමරා කාචවලින් එල්ල වූ පීඩනය නිසා අතිශය අසීරු එකක් වූ බව මැට් පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි, මයිකල් ජීවත්ව සිටියදී ලැබුණු එකම එක අවංක දුරකථන ඇමතුමකින් හෝ යාළුකමකින් ඔහුගේ ජීවිතය වෙනස් වීමට තිබුණි. මෙම සංවේදී කතාව මඟින් ලෝකයටම දෙන පණිවිඩය වන්නේ මිනිසුන්ට ආදරය, ගෞරවය සහ සැලකීම ලබා දිය යුත්තේ ඔවුන් ජීවතුන් අතර සිටින කාලයේදී මිස, මියගිය පසු සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය ප්‍රකාශ කිරීමෙන් නොවන බවයි.
















