ඇලහැර, ගල්මුල්ල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ තිබූ වටිනා පුරාවස්තු සහ පූජනීය වස්තූන් කිහිපයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇතැයි බකමූණ පොලිසිය පවසයි.
පසුගිය 13 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර, විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ පළිඟු චූඩාමාණික්‍යය සහ විහාර මන්දිරයේ වැඩසිටින බුදු පිළිම වහන්සේගේ රත්තරන් ඌර්ණ රෝම ධාතුව මෙලෙස සොරාගෙන ගොස් තිබේ. විහාරාධිපති හිමියන් පවසන පරිදි මෙම පූජනීය වස්තූන්හි වටිනාකම රුපියල් ලක්ෂ 06ක් පමණ වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සොරකම සිදුකරන අවස්ථාවේදී ගල්මුල්ල ගම්මානයට විදුලිය සැපයෙන ප්‍රධාන සැපයුම් ස්ථානයේ පරිපථය විසන්ධි කර මුළු ගම්මානයම අඳුරේ තබා ගැනීමට සැකකරුවන් කටයුතු කර ඇති බවයි. ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති මෙම සොරකම සම්බන්ධයෙන් බකමූණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
















