හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන හන්දිය ආසන්නයේ ඇති භූමි ප්‍රදේශයක පවතින නායයෑම් අවදානමක් සහ එම ප්‍රදේශයේ ඇති යුකැලිප්ටස් ගස් කිහිපයක් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇත. මාර්ගයට එල්ල විය හැකි තර්ජනය ඇගයීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් ජූනි 14 වන දින සිට මෙම සීමා කිරීම් ක්‍රියාත්මක කරනු ලැබීය.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, නායයෑම් සිදුවන ස්ථානයට ඉහළින් කඳු මුදුනේ පිහිටි යුකැලිප්ටස් ගස් කිහිපයක මුල් පස් තට්ටුවෙන් ඉහළට නිරාවරණය වී ඇත. මේ දිනවල පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ මෙම ගස් ඕනෑම මොහොතක මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතියි. මෙලෙස ගස් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ වාහනවලට බරපතළ හානි සිදුවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මෙම අවදානම් සහගත තත්ත්වය දැනුම් දී අදාළ ගස් කපා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියද, මේ දක්වා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව මගීන් පවසති.
















