2026 ජූනි මස පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර, මෙක්සිකෝවේ ග්වාඩලජාරා (Guadalajara) ක්‍රීඩාංගණයේදී සිදුවූ ජාතිවාදී අභිනයක් හේතුවෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් මතුව තිබේ. දකුණු කොරියාව සහ චෙක් ජනරජය අතර පැවති තරගයෙන් අනතුරුව, දකුණු කොරියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ‘යූන් සු-ජින්’ (Yoon Su-jin) තම ජයග්‍රහණය සමරමින් වීඩියෝවක් පටිගත කරමින් සිටියදී, ඇයට පිටුපසින් සිටි පුද්ගලයෙකු විසින් අශෝභන සහ ජාතිවාදී ඉරියව්වක් (Offensive racist gesture) සිදුකරනු කැමරාවේ සටහන් විය.යූන් විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට එක් කිරීමත් සමඟම එය ලොව පුරා අතිශය වේගයෙන් වෛරල් වූ අතර, අන්තර්ජාල පරිශීලකයින් විසින් ඉතා කෙටි කලකින් මෙම පුද්ගලයා හඳුනාගැනීමට සමත් විය. ඔහු ජාලිස්කෝ මිනින්දෝරු සහ භූ-විද්‍යා ඉංජිනේරු සංගමයේ (CITGEJ) සභාපතිවරයා ලෙස කටයුතු කළ යුලිසෙස් ෆර්නැන්ඩෝ බර්නාල් මිරාමොන්ටෙස් (Ulises Fernando Bernal Miramontes) බව තහවුරු විය.මෙම සිදුවීමත් සමඟ ඇතිවූ දැඩි මහජන විරෝධය හමුවේ CITGEJ සංවිධානය වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස, ඔහුගේ ක්‍රියාව සංවිධානයේ සදාචාරාත්මක වටිනාකම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව ප්‍රකාශ කරමින් ඔහුව සභාපති තනතුරෙන් වහාම ඉවත් කිරීමට පියවර ගත්තේය.තනතුර අහිමි වීමෙන් අනතුරුව මිරාමොන්ටෙස් තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. තමා කළ වරදේ වගකීම භාරගන්නා බවත්, ඉන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙන් දැඩි ලෙස කණගාටු වන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක මෙවැනි පහත් හැසිරීම්වලට කිසිදු ඉඩක් නොතිබිය යුතු බව අවධාරණය කරමින්, ජාතිවාදයට එරෙහිව බියකින් තොරව හඬ නැඟූ යූන් සු-ජින්ගේ ධෛර්යය ලොව පුරා බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වී තිබේ.
















