මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ ‘කුමන්ත්‍රණය’ යන චෝදනාව පවත්වාගෙන යාම නීති විරෝධී බව පවසමින් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද (16) අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. ඒ සඳහා ඒ මහතා මේ වන විට අධිකරණයට පැමිණ ඇත.
මෙම පෙත්සම අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.
පෙත්සමෙහි පසුබිම සහ තර්ක සම්බන්ධයෙන් සලකා බැලීමේදී, යෝෂිත රාජපක්ෂ මහතා සමඟ මෙම නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටි ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව පසුව නීතිපතිවරයා විසින් නිදහස් කර ඇති බැවින්, හවුල්කරුවෙකු නොමැතිව තම සේවාදායකයාට පමණක් ‘කුමන්ත්‍රණය’ යන චෝදනාව පවත්වාගෙන යාම නීති විරෝධී බව නීතිඥ හෆීල් ෆාරිස් මහතා මීට පෙර අධිකරණය හමුවේ තර්ක කර තිබුණි.
මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ, තනි විත්තිකරුවෙකුට වුවද ‘කුමන්ත්‍රණය’ යන චෝදනාව යටතේ නඩු පැවරීමට හැකියාවක් ඇති බවයි. මෙම කරුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම තර්ක සලකා බැලීමෙන් අනතුරුව, අද දිනයේදී මේ පිළිබඳව පූර්ණ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.
















