එක්සත් රාජධානිය තුළ වෘත්තීයමය මෙන්ම ස්වේච්ඡා මට්ටමින් ඉහළ සමාජ මෙහෙවරක නිරතව සිටින ශ්‍රී ලාංකික පවුලක් එරටින් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති හදිසි තීරණයට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු වී තිබේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරියක වන වික්ටෝරියා කොලින්ස් මහත්මිය මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රබල කරුණු දැක්වීමක් සිදු කළාය.
පසුගිය වසර හතරක කාලය පුරා නීත්‍යානුකූලව එරට පදිංචිව සිටි රසිඛ සමරසිංහ, ඔහුගේ බිරිඳ චමිලා දිල්රුක්ෂි සහ ඔවුන්ගේ බාල වයස්කාර දරුවන් තිදෙනා මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටිති. රසිඛ සත්කාරක සේවකයෙකු ලෙසත්, චමිලා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උපකාරක ගුරුවරියක සහ ස්වේච්ඡා සේවිකාවක ලෙසත් ප්‍රජාවට ලබා දෙන සේවය අතිමහත්ය. කෙසේ වෙතත්, නව වීසා රෙගුලාසි මත මවට සහ දරුවන්ට දින 14ක් ඇතුළත රටින් පිටව යන ලෙස නියෝග ලැබී ඇති අතර, පියාට පමණක් රැඳී සිටීමට අවසර ලැබීම හේතුවෙන් මෙම පවුල දැඩි අසරණභාවයට පත්ව ඇත.
මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේ, ප්‍රජාවේ “ශක්තිමත් කුළුණු” ලෙස හැඳින්වෙන මෙම පවුල පිටුවහල් කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි. මෙම තීරණය මානුෂීය පදනමක් මත නැවත සලකා බලන ලෙස ඉල්ලමින් ඇය සංක්‍රමණ අමාත්‍යවරයා වෙත නිල ලිපියක් යොමු කර තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කැරොලයින් නෝක්ස් මහත්මිය ද මෙම ගැටලුවේ ඇති සංවේදීතාව වටහා ගත් අතර, මෙම පවුලට සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා ගත හැකි විකල්ප පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරී මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලෙස මන්ත්‍රීවරියට උපදෙස් දුන්නාය.
පියෙකුගෙන් දරුවන් වෙන් කිරීම සහ එම පවුල වෙත එල්ල වී ඇති මානසික පීඩනය හේතුවෙන්, ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ දෙනා බ්‍රිතාන්‍ය රජයේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කරමින් එම පවුලට සහයෝගය පළ කරමින් සිටිති.
















