පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ සේවය කරමින් සිටියදී එහි ආරක්‍ෂක පරීක්ෂකවරයෙකු වන ලලිත් වීරසිංහ නැමැත්තාගේ ලිංගික බලහත්කාරකම් වලට අකමැති වීම හේතුවෙන් පලිගැනීමට ලක්ව ඇති කාන්තාව යුක්තිය ඉල්ලා සිටිමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා වෙත සංදේශයක ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර තිබෙන මෙම සංදේශය මගින් තමන්ට සිදුව තිබෙන අසාධාරණය සම්බන්ධයෙන් මෙන්ම එම ස්ත්‍රී අපචාර සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරින් විසින් අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ද සොයා බැලීමක් කරන මෙන් ඉල්ලා සිට ඇත.
අදාල කාන්තාව සිය සංදේශය මගින් වැඩිදුරටත් කියා සිටින්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරින් මෙම අපචාර සිදුවීම සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන සිටි බැවින් තමන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය වෙත පැමිණිලි කිරීමට කටයුතු කල බවයි.ඒ අනුව පොලිසිය විසින් අපචාරකරුට එරෙහිව නඩු පවරා ඇත.පොලිසිය විසින් සිදුකරන නඩු පැවරීමක් සැලකෙන්නේ රජය මගින් නඩු පැවරීමක් ලෙසය.ඒ අනුව ලලිත් වීරසිංහ නැමැත්තාට එරෙහිව රජය විසින් නඩු පවරා තිබියදී ඔහුට අනුග්‍රහය සැලසීම රජයට එරෙහිව කටයුතු කිරීමක වන බැවින් ඊට එරෙහිවද විමර්ශනය ක් සිදුකල යුතු බව ඇය කියා සිටී.
















