2009 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුළ ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 14 වනදා නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම ස්ථානීය පරීක්ෂණයේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට විදුලිය උත්පාදනය දක්වා වන සමස්ත ක්‍රියාවලියම විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක් විය. එහිදී ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කිරීම, අහඹු නියැදි ලබා ගැනීම සහ පරීක්ෂා කිරීම මෙන්ම ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු පිළිබඳවද ඔවුන් විමසිලිමත් විය.
ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භයේ සිට පසුගිය අප්‍රේල් 1 වනදා දක්වා කාලසීමාව තුළ, ලංකා ගල් අඟුරු සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයන් මගින් ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනය කිරීමේදී යම් අක්‍රමිකතාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්දැයි සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ අරමුණයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
















