අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දරන උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය විසින් දැඩි ලෙස හෙළා දකිනු ලැබීය.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල පැහැදිලි දේශපාලන මර්දන උත්සාහයක් බව එම සංවිධානය පෙන්වා දෙයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශනවලට බාධාවන අන්දමින් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින්, මෙම පිරිසට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව CID විසින් ඊයේ (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරන්නේ, දේශපාලනඥයින් පස් දෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව එකම නඩුවක් යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීම අතිශය දුර්ලභ කටයුත්තක් බවයි. 2024 අංක 8 දරණ අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ ස්වාධීන අධිකරණයට අපහස කිරීමේ නඩුවක් පැවරීමට පොලීසියට නීතිමය බලයක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.
තවද, වත්මන් රජය බලයට පත් කිරීමට දායක වූ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත නැවත බඳවා ගෙන CID අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ ඔහු ලවා මෙවැනි දේශපාලන නායකයින් මර්දනය කිරීමට කටයුතු කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුත්තක් බව එම සංවිධානය චෝදනා කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14(1)(a) වගන්ති මගින් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ හෘද සාක්ෂියේ නිදහස අභියෝගයට ලක් කරමින් දේශපාලනීකරණය වූ පොලිස් සේවය විසින් ගෙනයනු ලබන මෙම ඒකාධිපති උත්සාහය සමස්ත සමාජයම එක්ව පරාජය කළ යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
















