රජයේ බදු ප්‍රතිපත්ති තමන්ට වාසිදායක ලෙස වෙනස් කර ගැනීම සඳහා රුපියල් කෝටි ගණනාවක මුදල් වැය කරමින් අසත්‍ය ප්‍රචාර පතුරුවන කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට කරුණු හෙළි වී තිබේ. මෙම ව්‍යාපාරය දශක ගණනාවක් තිස්සේ ජනතාව අතර සත්‍ය ලෙස වරදවා වටහාගෙන ඇති මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්රචාරක මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මුදලට යට වන පර්යේෂණ ආයතන විශාල වශයෙන් යොදා ගනිමින් සිටී.
මෙම කර්මාන්තය විසින් ප්‍රධාන වශයෙන් මිථ්‍යාවන් තුනක් සමාජගත කිරීමට උත්සාහ දරයි: එනම්, බදු වැඩි කළහොත් රජයේ ආදායම පහත වැටෙන බවත්, නීති විරෝධී සිගරට් වෙළඳපොළ ඉහළ යන බවත්, අවසානයේ කර්මාන්තය කඩා වැටී ගොවිතැන් කරන්නන් අසරණ වන බවත්ය. කෙසේ වෙතත්, Verité Research, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ආයතන විසින් සිදු කරන ලද පර්යේෂණවලින් මෙම තර්ක සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත.
ආර්ථික විද්‍යාත්මකව බැලූ විට, සිගරට් මත බදු වැඩි කිරීමෙන් සෘජු වාසි තුනක් ලැබේ. පළමුව, රජයේ සුභසාධන වියදම් සඳහා අතිරේක ආදායමක් ලැබීමයි. දෙවනුව, මහජන රෝහල් පද්ධතියට බරක් වන රෝගී තත්ත්වයන් අවම කිරීමයි. තෙවනුව, ඉන්ධන හෝ විදුලි බදු මෙන් නොව, මෙම බදු මගින් ආහාර හෝ ප්‍රවාහන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොයෑමයි. ඉන්ධන බදු වැඩි කිරීමෙන් මුළු ආර්ථිකයටම බලපෑමක් සිදු වුවද, සිගරට් බදු වැඩි කිරීමෙන් සිදුවන්නේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කරගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම පමණි. මේ සම්බන්ධයෙන් තවදුරටත් කල් මැරීමෙන් තොරව, වහාම ක්‍රියාත්මක වී ජාත්‍යන්තර නිර්දේශ අනුව බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ කාලය එළඹ ඇත.
















