ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “ඩුබායි තාරු” නමැත්තාගේ ජාලයට සම්බන්ධ බවට සැකකෙරෙන අඹුසැමි යුවළක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. සැකකරු සහ සැකකාරිය විසින් නාවලපිටිය, ගම්පොළ, හපුගස්තලාව සහ ගිනිගත්හේන යන ප්‍රදේශවලට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ වයස අවුරුදු තුනහමාරක් වන දියණියද ඔවුන් සමඟ සිටීම විශේෂත්වයකි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඔවුන් භාවිත කළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















