තඹුත්තේගම – රාජාංගනය මාර්ගයේ අංගමුව පිටවාන හරහා පවතින පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති පිරිවැය රුපියල් මිලියන 241.45කි.
දැනට පවතින පාලම පහත් බිම් ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන් වැසි කාලයේදී ගංවතුර තත්ත්වයන් මත මාර්ගය භාවිත කිරීමට බාධා මතු වේ. එමෙන්ම, පවතින දිය මගෙහි ධාරිතාව අනාගත වාරිමාර්ග ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මගින් සිදු කිරීමට නියමිතය. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
















