ශ්‍රී ලංකා A සහ ඉන්දීය A කණ්ඩායම් අතර පැවැති තරගය අතරතුර හටගත් උණුසුම් වචන හුවමාරුව මේ වන විට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් වන විශේන් හැළඹගේ සහ කුගදාස් මුතුලන් විසින් ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශිට පැවසූ සුහද පිළිගැනීමක් (“Welcome to men’s cricket”), වෛභව් විසින් ඉතා ආවේගශීලීව සහ අශෝභන අයුරින් ප්‍රතික්ෂේප කිරීම මෙම දැඩි විවේචනයට මූලික වී ඇත.තරග පිටියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව තල්ලු කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළ ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ්, වෛභව්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අවධාරණය කරයි.”විශේන් සහ මුතුලන් ඔහු වෙත ගොස් ‘Welcome to men’s cricket’ යැයි පැවසුවා. ඔහු එයට දැඩි ලෙස ආවේගශීලී වෙමින් ඔවුන්ව තල්ලු කරමින් දෝෂාරෝපණය කළා. මෙම හැසිරීම 15 හැවිරිදි දරුවෙකුට කිසිසේත්ම නොගැලපෙන්නක්. ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී ඔහු තම හැඟීම් පාලනය කරගෙන වඩාත් විනයගරුකව සහ ගෞරවනීය ලෙස හැසිරීමට ඉගෙන ගත යුතුයි.” – රසල් ආනල්ඩ්.බොහෝ දෙනා පවසන පරිදි, වෛභව් පිටියේදී පෙන්වන එම “ළදරු” පෙනුම සහ නිහතමානී බව පිටුපස ඇත්තේ දැඩි ආවේගශීලී ස්වභාවයක් බව මෙම සිදුවීමෙන් මනාව ඔප්පු විය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට හෝ විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ගරු කිරීම වෙනුවට ඔහු පෙන්වූ මෙම ආක්‍රමණශීලී හැසිරීම, ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ‘මහත්මා ගතියට’ විශාල හානියක් බව විචාරකයින්ගේ අදහසයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන ඕනෑම තරුණ ක්‍රීඩකයෙකු තම දක්ෂතාවය මෙන්ම විනය ද උසස් මට්ටමක තබා ගත යුතු බවට මෙම සිදුවීම කදිම පාඩමකි.
















